ගම බලා

ඔස්ට්රේලියාවට එනකොට මට සිංගප්පූරුවේ ගුවන් තොටුපොලෙන් එලියට යන්න අවස්ථාවක් ලැබුනෙ නෑ. නමුත් මේ ආපසු ලංකාවට යන ගමනේදී මම සිංගප්පූරුවේ රෑ දෙකක් ගෙවන්න සැලසුම් කරලා තියෙන්නේ. හැබැයි මේ නැවතුම ගමේ අරගෙන යන්න බඩු ගැනීමට අවස්ථාවක් මිස එය සංචාරක ගමනාන්තයක් හැටියට මම දැක්කෙ නෑ. ඒ නිසා මෙහෙ ගතකරන හෙට දවස අම්මටයි, නංගිටයි, මල්ලිටයි දෙන්න පොඩි තෑගි ටිකක් ගැනීමට සෑයෙයි කියලා මට හොඳටම විශ්වාසයි.

මගේ මිත්ර පීටර් අද උදේ මාව බ්රිස්බන් ගුවන් තොටුපොලට ගෙනත් දැම්මේ එතනදී දෙන්නට එකට අන්තිම බීර වීදුරුවක් ගන්නත් කාලය වෙන්කරගෙනයි. උදේ අටට විතර නිසා ඒ බීම මිත්රත්වයේ සංකේතයක් මිස බීර බීමට ඇති පිරියක් නිසා සිද්ධවුන දෙයක් නෙවෙයි. අවුරුදු හතරක් මගේ හොඳම මිතුරා වූ පීටර් යම් දවසක් ලංකාවට ඇවිත් යන්නත් පොරොන්දු වුනා.

සිංගප්පූරු වෙලාවෙන් හවස පහට විතර ගොඩබැස්ස මම කෙලින්ම හෝටලේට ගියා. මේ හෝටලේ කුඩා මෙන්ම ලාබ බවත්, මට අවශ්ය බඩු ගැනීමට ඒ කිට්ටුව කඩසාප්පු ඇති බවත් මට කිව්වේ සිංගප්පූරු ජාතික යාළුවෙක්. මගේ අවශ්යතාවයන්ට හෝටලේ හොඳටම ප්රමාණවත් කියලා මට හිතුනා.

නවතින හෝටලෙන්ම තේ කෝප්පයක් බීලා මම ටිකක් ඇවිදින්න ගියේ රටතොට බලන ආශාව වගේම පැය අටක් වාඩිවී ආ ගමනට පසුව අතපය ටිකක් දිගහැර ගැනීමටයි. මෙහෙ ඇති ඉතා පිරිසිදු පාරවල්, ආචාරසම්පන්න ජනතාව වගේ දේ ගැන මම ආසා තිබුනා. නමුත් මගෙ සිතේ තදින්ම ඇඳුනේ ඒවා නොවෙයි. පළමුවෙන්ම, මා දුටු විදිහට මෙහෙ චීන, ඉන්දියානු, මැලේ වැනි විවිධ උරුම ඇති ජනයා හැසිරුනේ එකම ජාතියක, ‘සිංගප්පූරු ජාතියේ’, සාමාජිකයෝ ලෙසයි. මේ එකමුතුව ඇත්ත, හෘදයාංගම ස්වභාවයක්ද නැතිනම් මතුපිටින් පමණක් ඇති දෙයක්ද යන ප්රශ්නේ මගෙ හිතට ආවේ ලංකාවෙයි ඔස්ට්රේලියාවෙයි ‘අන් ජාතීන්’ ගැන කියන කරන දේ ඇහිලයි. මගේ හිතට ආ දෙවෙනි වැදගත් සිතිවිල්ල “සිංගප්පූරු ජාතිකයෝ කන්නේ ජීවත් වෙන්නද, ජීවත් වෙන්නේ කන්නද?” යන්නයි. බැලූ බැලූ තැන කෑම බීම විකිනෙනවා වගේම වෙලාව නොතකා මිනිස්සු කනවා බොනවා.

නමුත් මේක මම මීට ඉස්සර දැකලා නැති තැනක්. පැයකින් රටක් හෝ රටක ජනයා ගැන තීරණයක් ගන්න තරම් මෝඩ නොවෙන්න කියා මම මටම කියා ගත්තා. ඒ අනුව මමත් පොඩි පාර අයිනේ ‘පෙට්ටි කඩේකින්’ රෑට කෑවා. කෑමෙන් පස්සේ මම කාමරේට ගියේ පවුලේ අයට දීමට ගතයුතු බඩු ලයිස්තුවක් ලියා ගැනීමටයි.

ලයිස්තුව ලියනවට වඩා ගෙදර අය ගැන සිතන්න කාලය ගියා. ඇදේ වැතිරිලා ලයිට් නිවා දැම්මත් නින්ද එන්න වෙලා ගියා.

………………………..

නීලයි මමයි මයිකල්ගෙ ගෙදරට ගොඩවෙනකොට හවස හය හමාරයි. ඒ පවුලේ තුන්දෙනාම ඉස්සරහ සාලේ අපි එනතුරු බලාගෙන හිටියේ.

“ආ ලලිත් එන්න එන්න… මේ මගෙ පවුල කෙලේලා, මේ පුතා කියොකි”

“ස්තුතියි අපිට ආරාධන කරාට - මේ නීලා… මා ඇරුනුකොට මෙහෙ ඉන්න එකම ලාංකිකයා! කමක් නැද්ද නොකියම තව කෙනෙක් එක්ක ආවට?”

කෙලේලා යන්තම් හිනාවුනාට මුහුණෙන් පෙනුනේ දුක්බර ගතියක්.

“අපි වගේ ලෝකේ තනිවෙලා ඉන්න අයට ඒ වගේ මෝඩ නීති නෑ!”

ලංකාවේ පුරුද්දට අපි අරගෙන ගිය බිස්කට් පෙට්ටියයි කෙසෙල් ඇවරියයි පිළිගත්තේ කෙලේලා. මගේ පෞද්ගලික පුරුද්දට ගෙනා බීර බෝතල් කීපේ මම මයිකල් අතට දුන්නා.

වැඩිහිටියෝ හතරදෙනා සාලේ වාඩිවුනේ බීම වීදුරුවක් අතින් අරගෙනයි. කියොකි පොඩි එකා අම්මගෙ උකුලේ වාඩිවෙලා අපි ගෙනා කෙසෙල් ගෙඩියක් කනවා; මේ දර්ශනය ලංකාවේ වගේ කියලා මට හිතුනා..

මම කතාව පටන්ගත්තේ කිසි පූර්විකාවක් නැතුව. මගේ ලංකා ගමනට ලෑස්තිය, සිකුරාදා රෑ පාටිය, සෙනසුරාදා උදේ පාටිය තිබුන ගෙදරේ මෙන්ම සරසවිය අවටත් දුටු වෙනස්කම්, නීලා හමුවීම… මම වක්කඩයක් කැඩුවා වගේ මුළු කතාවම කිව්වා. තැනින් තැන නීලත් විස්තර සැපයුවා. අන්තිමට නීලගෙ ශිෂ්ය සංගම සමග කෙරෙන ‘ශ්රී ලංකා’ සෝදිසියත් මගේ ටෙලිෆෝන් ඇමතුමුත් විස්තර කරා.

“ඔන්න ඕකයි වුනේ… ඔය දෙන්නා කියනවද මෙහෙ මොකද වුනේ කියලා?”

මයිකල් කෙලේලා දිහා බලලා කතාව පටන්ගත්තා. නමුත් එයා පටන්ගත්තේ කිරිබති ගැන හැඳීන්වීමකින්.

“ලලිත්… නීලා… ශ්රී ලංකාව වගේ නෙවෙයි අපෙ රට ජනගහනයෙන් බොහොම පුංචියි, ලක්ෂෙකට අඩුයි. නමුත් අපි ජීවත්වෙන දූපත් ශාන්තිකර සාගරේ වර්ග කිලෝමීටර් මිලියන් තුන් හමාරක කොටසක විසිරිලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ජීවත් වෙන්නේ මහමුහුදෙන් අතිවිශාල ලෙස වෙන්වූ කුඩා ‘ජන පොකුරු’ හැටියට පොඩි දූපත්වල - ලංකාව වගේ එක දූපතක නෙවෙයි… බ්රිතාන්යෙන් අපිට නිදහස ලැබුනේ මේ අවුරුද්දේ. ඊට ඉස්සර අපෙ නම් ගිල්බට් දූපත්… අපි බොහෝම අලුත් රටක්!”

මයිකල් බීර උගුරක් බිව්වා.

“කවුරුත් අපිව ගණන් ගන්නෙ නෑ - අල්පේශාක්ය රටක්; අපි හිටියත් නැතත් කිසි කෙනෙකුට වෙනසක් නෑ!”

මේ අදහසට මම කෙලින්ම විරුද්ධවුනා.

“නෑ මයිකල් - අද අපි වැටිලා ඉන්න අසීරු තත්වය අනුව මයිකල්ගෙ කතාව සම්පුර්ණෙන්ම වැරදි. මෙතන වෙලා තියෙන්නේ රටක් මුහුදට යටවෙන කතාවක්වත් ගිනි කන්දකින් විනාශ වෙන කතාවක්වත් නෙවෙයි. මිනිත්තුවකට හිතලා බලන්න, අපෙ රටවල් දෙකට සිද්ධවුනා වගේ ඔස්ට්රේලියාව හදිස්සියේ නැතිවුනා කියලා. එතකොට මොකද වෙන්නේ? ලෝකේ කිසි වෙනසක් නැතුව දුවන විදිහට දුවයි; ඒ ලෝකේ ජීවත්වෙන කෙනෙකුට කිසි අඩුපාඩුවක් පෙන්නෙන්නෙ නෑ. මොකද ඉතිහාසේ ලියවිලා නෑ ඔස්ට්රේලියාව කියලා රටක් තිබුනා කියලාවත්! ඉතිහාසේ ලියවිලා නැති නම් ඇත්තටම එහෙම රටක් නෑ! ඒ කියන්නේ නැති රටක් ලොකුයි/පොඩියි කියන කතාවේ තේරුමක් නැ! ”

කෙලේලා පොඩ්ඩක් හිනාවුනා.

“මම කිව්වා මයිකල්ට හැම දේටම අපෙ රට අනික් රටවල් එක්ක සසඳලා බලලා වැඩක් නෑ කියලා. අපි කිරිබති අය. මෙහෙ වැඩිය ඉන්නේ ඔස්ට්රේලියාවේ අය. ඔය දෙන්නා ශ්රී ලංකාවේ අය. අපි එකිනෙකාට වෙනස් හුඟක් මිනුම් වලින්; නමුත් ඒ වෙනස් පිළිගන්නවා මිස ඒවට හොඳයි/නරකයි ලේබල් අලවන එක…”

කෙලේලා කතාව නැවැත්තුවා.

“ඔවු… මෝඩ වැඩක්!”

මයිකල් හිනා වෙලා නැවතත් කතාව පටන්ගත්තා.

“කෙටියෙන් කිව්වොත් වුනේ මේකයි. ඊයේ, සෙනසුරාදා, කියොකිගෙ පළවෙනි උපන් දිනේ… අපි හිතුවේ කිරිබති විදිහට පොඩි පාටියක් දාන්න; අපේ කෑම එහෙම එක්ක. අපි හිතුවේ කිරිබති කොඩි එහෙම දාලා ගෙදර සරසන්න… නමුත් මා ලඟ කොඩියක් නෑ. ඒක සොයන්න තමා මම ටෙලිෆෝන් කරන්න පටන්ගත්තේ…”

මයිකල්ගෙ කටහඬ ආවේ බොහොම හෙමින්, ගැස්සි ගැස්සී - වචන කදුළු තුලින් පීනගෙන එනවා වගේ.

“කොහෙවත් නෑ… කොඩියක් තියා කිරිබති වලට සම්බන්ධ මොනවත් නෑ… හිටපු යාළුවොත් නෑ… කෙලේලා තමා කිව්වේ යුනිවසිටි එකේ බලන්න කියලා අපේ කොඩියක් හරි, අඩුමගානේ ඒකේ පිංතූරයක් වත් ඇතිද බලන්න… ඒ වෙනකොට මම කොඩිය ගැන හිතුවා මිස රටට විපතක් ගැන හිතලා නෑ. කෙලේලගෙ අදහස හරි කියලා තේරුණ නිසා මම යුනිවසිටි ගියා. ඉස්සර වෙලාම මම ගියේ මගෙ ෆැකල්ටි එකට …”

බීර උගුරක්.

“… එතන මගෙ නම නෑ…”

මම දන්නවා මයිකල් ආවේ ඔස්ට්රේලියානු ආන්ඩුවෙන් කිරිබති රටට ප්රධානය කළ ශිෂ්යත්වයකින් බව. කිරිබති කියන රට නැතිනම් ශිෂ්යත්ව නෑ; ඒ අනුව මයිකල් මෙහෙ නෑ. අපි කවුරුත් කතාකළේ නෑ සෑහෙන වෙලාවක්.

ඉස්සරවෙලාම කතාකළේ නීලා.

“කියොකිගෙ උපන් දිනේ සෙනසුරාදා… මයිකල් කීයට විතරද ඉස්සර වෙලාම දැනගත්තේ කිරිබති වලට වෙලා තියෙන අකරතැබ්බේ?”

“මම පළවෙනි කෝල් එක ගන්න උත්සාහකළේ උදේ අටට විතර…”

“හරි… ලලිතුයි මමයි සොයාගත්තේ මේ වෙනස වෙලා තියෙන්නේ පාන්දර තුනටත් උදේ හයහමාරටත් අතරදී කියලා. අනික ලලිත් මගෙන් ඊයේ ඇහුවා මොකක් හරි වෙනසක්… භූමි කම්පාවක් වගේ දෙයක් දැනුනද කියලා ඒ අතරතුරේ. ඒක ගැන මම ගොඩක් හිතුවා… මට කිසිම භූමි කම්පාවක් දැනුනෙ නෑ … නමුත් එක අමුතු දෙයක් සිද්ධවුනා… වෙලාවේ හැටියට අපෙ ප්රශ්නෙට අදාල වෙන්න පුළුවන්…”

‘ගණන් උස්සන්නෙ නැතුව ඉතින් කිව්වනම්’ කියලා මට හිතුනත් මම මොනවත් කිව්වෙ නෑ. නීලා ආයෙත් කතාකළේ බිම බලාගෙන.

“… ඊයේ උදේ පහට මට ඇහැරුනා… එක සැරේම…. ඇහැරුනේ ඇයි කියලා දන්නෙ නෑ නමුත්… මට ඇහැරුනේ ලියන මේසේ ලඟ වාඩිවෙලා… පෑනකුත් අතේ තියාගෙන…”

කෙලේලයි මයිකලුයි එකසැරේම අමුතු විදිහට නීලා දිහා බැලුවා. ඒ බැල්මේ තැති ගැන්මක් මම දැක්කා. දෙන්නා මුහුණෙන් මුහුණ බලලා නීලා දිහා බැලුවා. කතාකළේ කෙලේලා.

“සිකුරාදා රෑ දහයට මට ඇහැරුනේ කුස්සියේ, බිස්කට් ටින් එකක් අතේ තියාගෙන. මයිකල් එතකොට කේතලෙත් අරගෙන ටැප් එක ලඟ, නින්දෙන් ඇහැරුන ගමන්…”

අපි ගල්ගැහිලා වගේ එකිනෙකා දිහා බලාගෙන හිටියා. මේවා ගාණකට නොගත්තේ කියොකි පොඩි එකාට විතරයි. එයා ඈනුමක් ඇරලා කාමරේ පැත්තට ගියා. නීලා වහාම කතා කළා.

“අනේ කියොකිට බඩගිනිත් ඇති. මේ වැඩිහිටියන්ගෙ බෝරින් කතා අහගෙන ඉඳලා නිදි මතත් ඇති”

කෙලේලත් නැගිට්ටා.

“එයා කාලා ඉන්නේ. හැබැයි නිදිමත ඇති”

නීලත් ඇතුලට ගියා. මම මයිකල් දිහා බලාගෙන බීර උගුරක් බිව්වා.

“මයිකල් එහෙම එදා ඇහැරුනේ රෑ දහයට කිව්වා නේද? නීලා කිව්වේ එයාට ඇහැරුනේ සෙනසුරාදා උදේ පහට කියලා. මට ඔය කිසිම දෙයක් මතක නෑ. සමහරවිට මමත් හීනෙන් ඇවිදන්න ඇති… නමුත් ආයෙත් ඇඳට එන්න ඇති නොදැනම…”

“මට හිතෙන එක දෙයක් ලලිත්… දැන් වෙලා තියෙන ඇබැද්දිය ඔය හීනෙන් ඇවිදින ඒවට සම්බන්ධ වෙන්නේ කොහොම? රටක් ඉතිහාසෙන් සම්පූර්නෙන් ඉවත්වෙන්න මොනවාහරි මහා ලොකු විපත්තියක් වෙන්න ඕන කියලා මට හිතෙන්නේ. කීප දෙනෙක් එක එක වෙලාවට හීනෙන් ඇවිදින එක මහා විපත්තියක් කියලා මට හිතෙන්නෙ නෑ”

“නමුත් කවුද කියන්නේ මහා විපත්තියක් අව්ශ්යයි කියලා මේ වගේ දෙයක් වෙන්න? … එහෙම නිගමනයකට බහින්න අපිට සාධක නෑ…. සාමාන්යෙන් අපි ඒවගෙ සාධක සොයන්නේ ඉතිහාසේ බලලා; ඉතිහාසයක් නැතුව එහෙම සාධක තියෙන්නත් බෑ. ඒ ගැන හිතලත් වැඩක් නෑ… වෙලා තියෙන දේ තේරුම් කරන්න දැනට අපිට තියෙන්නේ සිදුවීම්/දත්ත දෙකයි; කිරිබතියයි ලංකාවයි විතරයි; බලපෑ ජනගහනය පහයි; මේ ගෙදර දැන් ඉන්න පස්දෙනා. නිගමනයක් සොයාගන්න අපිට මීට වැඩිය සාක්ෂි ඕන…”

අපි දෙන්නා නිහඬව බීර බිවා කෙලේලයි නීලයි කාමරේට එනතුරු. නීලා ආවේ තව අදහසක් අරගෙන.

“මම හීනෙන් ඇවිද්දේ පහට. ඔය දෙන්නා ඇවිද්දේ ඊට පැය හතකට ඉස්සර. ඒ වෙනසේ වැදගත් කමක් තියෙනවද?”

කෙලේලා හෙමින් කතාකළේ.

“ලංකාවේ වෙලාව කීයද, දැන්?”

“ම්… මෙහෙ අටයි, ඒ කියන්නේ එහෙ හවස තුනයි”

එදා රෑ අපි සොයාගත්ත ලොකුම ‘ඇත්ත’ මයිකල් වචනෙට හැරෙව්වා.

“අන්න වෙනස… අපි හීනෙන් ඇවිද්දේ අපෙ රටේ වෙලාව අනුව… මෙහෙ සිකුරාදා රෑ දහයයි කියන්නේ කිරිබති වල රෑ දොලහයි… නීලා උදේ පහට හීනෙන් ඇවිද්දේ, එතකොට ලංකාවේ වෙලාව රෑ දොලහයි… මේ වෙන දෙයක් සිද්ධවුනේ සිකුරාදා රෑ දොලහට, ඒ ඒ රටේ වෙලාවෙන්!”

………………………….

මට ඇහැරුනේ උදේ හත හමාරට. ඊයෙ රෑ ලිවූ බඩු ලැයිස්තුව මම කියෙව්වේ ඇඳේම ඉඳන්. හෝටලේ කන්තෝරුවේ මිනිහා කිව්වේ හවස දෙකෙන් පස්සේ ටිකක් වහින්න ඉඩ තියෙනවා කියලා. ඒ නිසාම මම හිතා ගත්තා සාප්පු ගමන් ඔක්කම උදේ වරුවේ ඉවර කරන්න. නමුත් සාප්පු අරින්න තව වෙලා තියෙන නිසා මම ඇඳෙන් නැගිටින්න හදිස්සිවුනේ නෑ.

හෙට දවල් එක වෙනකොට මම කටුනායක. කරදරයක් නොවුනොත් හවස් වෙනකොට ගෙදර, අවුරුදු හතරකට පස්සේ. මල්ලී දන්නවා මම ගොඩබහින වෙලාව; මිනිහා ඇවිත් ඉඳියි මාව ගෙදර එක්ක යන්න. අම්මයි නංගියි එයිද කියන්න බෑ. නමුත් මේක හැමදාම වෙන දෙයක් නෙවෙයිනේ. මම රට යන වෙලාවේ අපි හතරදෙනාම ගමෙන් කාරෙකක් කුලියට අරගෙන ආවේ. වෙන එකක් තියා අපි බත්මුල් එහෙමත් බැඳගෙන ආවා, මගදී කන්න කියලා. මේ සැරේ මොන විදිහට වැඩේ වෙයිද දන්නෙ නෑ. කටුබැද්දේ ඉගෙනගන්න මල්ලී ගමෙන් කාර් ගන්නෙ නැතිවෙයි. මිනිහා සමහරවිට බස් එකේ එයිද දන්නෙ නෑ කටුනායකින් කාරෙකක් අරගෙන ගෙදර යන්න - ‘බස් එකේ යමු අයියා’ කියයිද දන්නෙත් නෑ. මට තනියම හිනා ගියා.

මම හරිම ආසයි ගමේ සතියක් දෙකක් ඉන්න, රස්සාවක් සොයන්න ඉස්සර. දැනටත් ආන්ඩුවේ දෙපාර්තමේන්තු දෙකකිනුත් පෞද්ගලික සමාගම් දෙකකිනුත් රස්සා ගැන හොඳ ප්රතිචාර ලැබිලා තියෙනවා. ඒ ගැන මම වැඩිය කරදර වෙන්නෙ නෑ, තවම. නමුත් ගමේ ඉන්න කාලේ නංගිගෙයි මල්ලිගෙයි ඕනෑ එපාකම් ටිකක් සොයා බලන්න ඕන, අම්මත් එක්ක කතා කරලා. අම්මගෙ රස්සාව ගැනත් කතා කරන්න ඕන නංගිත් එක්ක - අම්මා මහංසි වෙනවා වැඩියි.

අද උදේ මේවා ගැන මම වඩා ඕනෑකමින් හිතන්නේ රෑ දැකපු අමුතු හීනයක් නිසා වෙන්නත් පුළුවන්. හීනේ මට මතක කෑලි වල පවුලේ කවුරුත් හිටියෙ නෑ. ඒකේ හිටියේ මං යන්තමින් හඳුනන නීලා කියලා ලංකාවේ කෙල්ලෙකුයි කිරිබතියෙන් ආ මයිකල් කියලා කෙනෙකුයි, මයිකල්ගෙ පවුලේ අයයි.

නීලා මට මතක අපෙ සරසවියේ හිටපු ලාංකිකයෝ හතරදෙනාගෙන් එක්කෙනෙක් හැටියට. මීට ඉස්සර එයාට කතාකරලා තිබුනේ කීප සැරරයි. මයිකල් එක්ක මම ෆීල්ඩ් ට්රිප් එකක් ගියා, ‘හෙරන් අයිලන්ඩ්’ කියන තැනට. නමුත් මගෙ හීනේ නීලයි මමයි මයිකල්ගෙ ගෙදර රෑ කෑමකට ගිහින්! මයිකල්ගෙ පවුලයි පුතයි එතන හිටියා, මට මතක විදිහට. නමුත් මගේ හිතට හොඳටම කාවැදුන දෙයක් මයිකල් කිව්වා.

“සිකුරාදා රෑ දොලහට අපෙ රටවල් ආයෙ නෑ! නැත්තටම නෑ - ආයෙ කවදාවත් එහෙ යන්න බෑ… හිටපු නෑදෑයෝ, යාළුවෝ ආයෙ කිසි දාක දකින්නෙ නෑ! ඒක හොඳට හිතට අරගෙන අනාගතේ හැඩගහගන්න වටිනවා!”